මේජර් ජෙනරාල් චන්න වීරසූරිය මහතා, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත්කර තිබේ.
ඊයේ (29) පස්වරුවේ යුද හමුදාපති කාර්යාලයේදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා අතින් 61 වැනි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වීම් ලිපිය ලබා ගන්නා ලදි.
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු මහතා පසුගිය 25 වැනිදා විශ්‍රාම යාමෙන් අනතුරුව මේජර් ජෙනරාල් චන්න වීරසූරිය මහතා එම පුරප්පාඩුව සඳහා පත් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා දිනමිණට පැවසීය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස වැඩ බාර ගැනීමට පෙර ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළේය.
2022 ජුනි 16 වැනි දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස වැඩ බාර ගැනීමට පෙර ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බළකායේ සේනා විධායක ලෙස කටයුතු කර ඇති ඔහු, යුද හමුදාවේ ප්‍රධාන පත්වීම් රැසක් ද දරා ඇත. ඔහු ශ්‍රී ලංකා පාබළ හමුදාවේ සහ යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුවේ කර්නල්වරයා ද වේ.
1968 ජූලි 15 වන දින කොළඹදී උපත ලැබූ අතර, කොල්ලුපිටිය මහානාම විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ක්‍රීඩා සහ විවිධ විෂය පථයන් සඳහා දස්කම් දැක්වීය. ඔහු 1986 ඔක්තෝබර් 27 වන දින කැඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදාවට බැඳුණු අතර, 1987 ජූලි 23 වන දින ශ්‍රී ලංකා සැහැල්ලු පාබළ හමුදාවේ 1 වන බළඇණිය වන ශ්‍රී ලංකා යුද හමුදාවේ ගෞරවනීය පාබළ රෙජිමේන්තුවට දෙවන ලුතිනන්වරයකු ලෙස පත් කරන ලදි. ඔහු යුද හමුදාවේ වසර 36කට වැඩි ගෞරවනීය සේවයක් සිදු කර ඇත.
යුද පිටියේදී සතුරා හමුවේ සිදු කළ විශිෂ්ට, අමිල සහ පරාර්ථකාමී කැපවීම අගයමින් ඒ මහතා ‘රණ වික්‍රම පදක්කම’ සහ ‘රණ සූර පදක්කම’ යන ගෞරව නාමයෙන් පිදුම් ලබා ඇත.
ඔහු විසින් හදාරන ලද දේශීය පාඨමාලාවලට අමතරව, මේජර් ජෙනරාල් පාකිස්තානයේ තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව, ඉන්දියාවේ මෝටාර් පාඨමාලාව, බංග්ලාදේශයේ කනිෂ්ඨ අණදෙන පාඨමාලාව, බංග්ලාදේශයේ එක්සත් ජාතීන්ගේ මාණ්ඩලික නිලධාරීන්ගේ පාඨමාලාව සහ ඉන්දියාවේ ජ්‍යේෂ්ඨ අණදෙන පාඨමාලාව සඳහා සහභාගි වී ඇත.
ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති අතර, ඇෙමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ පැවති ‘ගැටුම් නිරාකරණය’ සහ මොංගෝලියාවේ පැවති ‘දකුණු ආසියාවේ සහ ඊසානදිග ආසියාවේ රටවල ආරක්ෂාව’ යන මැයෙන් සම්මන්ත්‍රණවලට සහභාගි වී ඇත. මේජර් ජෙනරාල් චන්න වීරසූරිය පාකිස්තානයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජාතික ආරක්ෂාව සහ යුද පාඨමාලාව පිළිබඳ උපාධිය ලබා ඇත.