භික්ෂුන් වහන්සේ නමක් ලෙස විශ්වවිද්‍යාලයට ඇතුළත් වුවහොත් ඒ ලෙසටම උපාධිය ලබා විශ්වවිද්‍යාලයෙන් පිට විය යුතු බවත් උපාධිය පිරිනමන්නේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ භික්ෂුන් වහන්සේගේ නමට පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (29) ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පිවිසෙන ඇතැම් භික්ෂුන් වහන්සේලා අධ්‍යයන කටයුතු අවසානයේ ගිහියන් හැටියට ඉන් පිටවන බවයි.
මේ සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා කළ යුතු බවත් විශ්වවිද්‍යාල තුළ මේ සම්බන්ධයෙන් කතිකාවන් ඇති කළ යුතු බවත් ජනාධිපති වික්‍රමසිංහ මහතා පැවසීය.
මේ ක්‍රමවේදය තවදුරටත් ඉදිරියට පැවතුණහොත් අපේ ශාසනය නැති වෙන බව කී ජනාධිපතිවරයා මේ ගැන අද කතා කරන්නට විශේෂයෙන් තීරණය කළේ ඒ නිසා බවද කීවේය.
පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ ඇතැම් සංඝයා වහන්සේට මරණ දඬුවම ක්‍රියාත්මක කළ නමුත් තමන්ට ඒවා කරන්නට බැරි බව කී ජනාධිපතිවරයා ඒ සඳහා ව්‍යවස්ථාවෙන් බලයක්ද නැතැයි කීවේය. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියේ භික්ෂුන් වහන්සේගේ විනය පිළිබඳ සඳහන් වන බවද හෙතෙම කීවේය. එක් භික්ෂුන් වහන්සේ නමක් මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන්ට දෝෂාරෝපණය කරන අයුරු තමන් දුටු බව කී ජනාධිපතිවරයා මේ අය භික්ෂුන් වහන්සේද වෛතුල්‍යවාදීන්ද කියා අසන්නට සිදු වන බවද පැවසුවේය.
සිවුරු දැරූ පමණින් ධර්මයට විරුද්ධව ක්‍රියා කරන්න විශේෂ ආරක්ෂාවක් නොලැබෙන බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.