ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා ආරක්ෂක නිවෙස්නයෙහි රැකවරණය පතා පැමිණි කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වැනි ලේකම් එදිරිචාරිගේ කුෂාන් නමැත්තා ලබන මස 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (29) නියෝග කළේය.
සිද්ධියට අදාළ විමර්ශන අවසන් නැති බැවින් තානාපති කාර්යාලයේ තුන්වැනි ලේකම් ලෙස කටයුතු කර ඇති හෙයින් සාක්කිවලට බලපෑම් කළ හැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සැළ කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ජේ 11 , 1 වැනි පටුමඟ ග්‍රීන්ටෙරස්, කහන්තොට පාර, මාලබේ පදිංචි ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වැනි ලේකම් එදිරිචාරිගේ කුෂාන් නමැත්තාය. ඕමානයේ මස්කට් නගරයේ සිට ov 437 සලාම් එයාර් ගුවන්යානයෙන් ඊයේ (29) පෙරවරු 4.15ට සැකකරු දිවයිනට පැමිණීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන්තොටුපොළේදී ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මාළිගාවත්ත ප්‍රදේශයේදී සංචාරක වීසා මඟින් විදේශ ගතවූ සාරා නම් කාන්තාව ඇය සිටි නිවෙසේ ඇති වූ විවිධ තාඩන පීඩන හේතුවෙන් ඉන් 2022/12/03 වන දින පලාවිත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පාලනය වන සුරක්ෂා ආරක්ෂක නිවෙස්නය වෙත පැමිණි අතර, එහිදී සැකකාර තුන්වැනි ලේකම් කුෂාන් නමැත්තා සිය නිවෙස වෙත ගෙන ගොස් ලිංගික අතවර කළ බවට පැමිණිල්ලේ කරුණු සඳහන් වේ. මෙසේ වින්දිත කාන්තාවන් දේශීය හා විදේශීය සංවිධාන වෙත මුදලට විකිණීම සිදුවන්නේද හා සැකකරුවන් මේ මුදලින් මිල දී ගත් නීති විරෝධී දේපොළ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බැවින් සැකකරුට ඇප දීම සම්බන්ධයෙන් සිය විරෝධය රහස් පොලිසිය මඟින් මෙහිදී සඳහන් කළේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චානක රණසිංහ මහතා පැවසුවේ මේ ජාවාරම සම්බන්ධයෙන් සිය සේවාදායකයා විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මීට පෙර දැනුම්වත් කළ බවත් එම සිද්ධියට කිපුණු ඩුබායි සුද්දා හා නේහා නමැති අය විසින් මෙසේ තමන් වෙත අසත්‍ය චෝදනා එල්ල කර ඇති බවටය. තවද ඔවුන් විසින් ගෘහසේවිකාවන් මෙසේ තම සේවාදායකයාට විරුද්ධව පෙළගස්සවා ඇති බවය. තානාපති කාර්යාලයක සේවය කළ සිය සේවාදායකයා කිසි විටෙක අධිකරණය මඟහරින පුද්ගලයකු නොවන බවත් එසේ ක්‍රියා කිරීමට අවශ්‍ය නම් ඔහු සිය සේවය තහනම් කළ දිනම ක්‍රියාත්මක වන්නට තිබුණු බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
තවද සැකකරු දැනුදු ලංකාවේ සිටින බැවින් විමර්ශන සඳහා බලපෑම් කළ නොහැකි බවත් ඇප පනතේ 14 වැනි වගන්ති ප්‍රකාරව සිය සේවාදායකයා සුදුසු ඇපයක් මත මුදාහරින ලෙසට නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සෙසු සැකකරුවන්ද රක්ෂිත බන්ධනාගාරගතව සිටින බැවින් තවදුරටත් විමර්ශන සිදුවීම සලකා බලා සැකකරු ලබන මස 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. පැමිණිල්ල වෙනුවෙන් තැනැත්තන් වෙළෙඳාම ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු පෙනීසිටියහ. සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ චානක රණසිංහ මහතා පෙනී සිටියේය.