මහනුවර අම්පිටිය මී කණුව ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවකුගේ ශරීරයට භූමිතෙල් දමා ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අම්පිටිය සෙමනේරියවත්ත ප්‍රදේශයේ ගන කැලෑවක සැඟව සිටියදී ඊයේ (29) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධියෙන් පසු 26 හැවිරිදි සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සිටි අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් හතරක් යොදවා තිබූ බව මධ්‍යම පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පවසයි.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී ජීව අත්බෝම්බයක්ද සොයාගෙන ඇත. පාසල් සිසුවාට ගිනි තැබීමට භූමිතෙල් රැගෙන ආ බවට සැක කරන බෝතලයක් ද පොලිසිය සොයාගෙන තිබේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සැකකරු ප්‍රදේශයේ නීති විරෝධී ක්‍රියා රැසකට සම්බන්ධ බවට පොලිසියට තොරතුරු ලැබී ඇත. සැකකරුගේ පියා මීට වසර කිහිපයකට පෙර මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ආසන්නයේදී ඝාතනයට ලක්ව තිබෙන බව ද පොලිසිය පවසයි. බරපතළ පිලිස්සුම් තුවාල ලත් සිසුවා මේ වන විට මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔහුගේ තත්ත්වය ක්‍රමයෙන් සුව අතට හැරෙමින් තිබෙන බව වෛද්‍යවරු පවසති. තමන් පුතා සමඟ නිවෙසට යමින් සිටියදී පන්දමක් අතින් ගත් පුද්ගලයකු පසුපසින් පැමිණ නවතින ලෙස දැනුම් දුන් බවත් ඔහු තර්ජනය කරමින් කිට්ටුවට පැමිණ බෝතලයකින් යමක් පුතාගේ ඇඟට ඉස පන්දම ශරීරයට වීසි කළ බවත් පිලිස්සුම් තුවාල ලැබ රෝහල්ගතව සිටින සිසුවාගේ පියා පවසා තිබේ. පුතාගේ ඇඳුමට සහ ශරීරයට ගිනි ඇවිළීම නිසා ඔහු බිම වැටී දඟලන්නට වූ බවත් එම අවස්ථාවේ ත්‍රිරෝද රථයකින් පුතාව රෝහලට රැගෙන ආ බවත් පියා ප්‍රකාශ කර ඇත. සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් රාත්‍රී කාලයේ හෝ පැමිණ තම නිවාසවලට ගිනි තැබීමට පවා ඉඩ තිබෙන බව පවසන පිලිස්සුම් තුවාල ලත් දරුවාගේ ඥාතීන් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම පවා ප්‍රතික්ෂේප කරන්නේ ඔවුන්ගේ ජීවිත ද අවදානම් තත්ත්වයකට පත්ව තිබෙන බව පවසමිනි. සැකකරුට එරෙහිව තොරතුරු ලබා දීමට ගම්වාසීන් පවා මහත් බියක් දැක්වූ බව පොලිසිය පවසයි.
පිලිස්සුම් තුවාල ලත් සිසුවාගේ පවුල මීට වසර 20කට පමණ ඉහතදී එම ප්‍රදේශයේ පදිංචියට පැමිණ ඇත. ගමේ කිසිවකුත් සමඟ අමනාපයක් නැති බැවින් මේ ගිනි තැබීම කළේ කුමන හේතුවක් මුල්කර ගෙනද යන්න තමන් නොදන්නා බව ඥාතීහු පවසති.